අපේ විත්ති...

Monday, 6 September 2021

දහස් ගණන් මිය යන විට සිරි ලංකා දූ පුතුන්, රහමෙර බී පිස්සු කෙළිති ඇතැම් තැනක නරුමයන්.....

 


පැත්තේ විපරම් බ්ලොග්ස්පොට් කොම් අවසාන සටහන අපේ පැත්තේ ජීවත්වෙන සුන්දර මිනිසුන්  ටිකක් ගැනය. එම සටහනේ වත්තල ගදයො  නරුමයො, නස්කූනියො, නැත්තෙම නැහැ කියල ලිව්වාත් මතකය. මේ වගේ අය වත්තලට පමණක් ආවේනික නැත. රට පුරාම සිටිති. අද සටහන උන්දැලෑ ගැනය. එදා එහෙම කිව්වාට අද ඒ අයට ගදයො  නරුමයො, නස්කූනියො, කියලා කියන්නේ නැත. මේත් අපේ දරුවන්ය. අපේ සහෝදරයන්ය. කොටින්ම කිව්වොත් අපේම උන්ය. වරදකට ඇත්තේ හරිහමන් අධ්‍යාපනයක් නොලබූ එකය. අධ්‍යාපනය කියන්නේ සහතික උපාධි ආචාර්ය පට්ටම් හෝ මහාචාර්ය පට්ටම් නොවේ. අනිත් අයට කරදරයක් නැතිව ඉටුවිය යුතු යුතුකම් ඉටු කරමින් ජීවත්වන එකටය.

මුන්දලා ඉන්නකම් මේ වසංගතයෙන් ගොඩ එනවානම් බොරුය. සයියාග් පියා වයියාටවත් එය කළ නොහැක. දැන් දැන් රෑට රෑට සංගීත සාජ්ජ වල ශබ්ධ නිමක් නැත. කණ්ඩායම් වශයෙන් එකතු වී මත්පැන් පානය කරමින් මැදියම් රැය පසුවන තෙක්ම බාල් නටති. එකෙක්ගෙන් කී දෙනෙකුට නම් මේ නස්පැත්තය පැතිරිය හැකිද? නීතිය කරවන්නේ ඔවුන්ගේ බාප්පලා කුඩප්පචිචිලා බවත් සිතාගෙන ඉන්නවාදයි නොදනිමි. එක ගෙදරක එකෙක් බාල් නැටුවහම ඊට නොදවෙනිව බාලක් නටන්න තවත් ගෙදර එකෙකුට වුවමනාය. මේ තත්වය සැම තැනකම පවතින බවත් අසල්වාසින් අසරණ වී ඇති බවත් බොහෝ පැති වලින් අසන්ට ලැබෙන දේය. මොවුන් රටට ලෝකයට පෙන්වන්න හදන්නේ උන් සුපිරි පොරවල් බවය.මේ රටේ ජීවත්වන වැදගත් මිනිස්සුන්ට අනුව නම් මුන් පීචන් පොරවල්ය. අපේම මිනිස්සු දවසකට දෙසියයකට වැඩි ගණනක් මරු තුරුලට යන බව මේ අමන පුත්තුන්ට ගානක්වත් නැත. සැම තැනම කොවිඩ් ආසාධිත රෝගින්ය. නොයෙකුත් ලෙඩදුක් වලින් පෙළෙන දෙමාපියන්ය. මෙම අසරණ රෝගින් නිදාගන්නවාද නැද්ද යන්න ගැනවත් මේ අයට නිනව්වක් නැත. දෙවියන් පය නොගහන තැන යක්කු කරණම් ගසනවා කියන්නේ මෙව්වාටය.

මිනිස්සු හිරවෙලා ඉන්නෙ. ඒ අයටත් විනෝදයක් ඕනෑය කියා තර්කයක්ද ඉදිරිපත් විය හැක. අවුරුදු කන්න ගිහින් කෙලවෙච්චි හැටි දැන් කාටත් අමතකය. සංචාරකයන් ආවාට කොයින් බෝවෙන්නේ නැද්දැයි තවකෙක් අසන්නට පුළුවන. එහෙත් ඒ කථාව පුස්සකි. තාමත් ලංකාවේ කාටවත් කොවින් කියා ලෙඩක් සෑදී නැත. කෙනෙක් විනෝද වෙනවාට අප කිසිසේත් විරුද්ධ නැත. එහෙත් හිතට දුක වසංගතය පැතිරවීම තුළ මොවුන් අනියම් මිනි මරුවන් වෙන බවය.

ගෙදරක කාට හෝ කොවිඩ් ආසාධිත නම් බෝඩ් ලෑල්ල ගසා නැතිවාට ඔවුන් නිරෝධායනය විය යුතුය. එවැනි ගෙවල්වල ඇතැම් අයට ඒ ගැනවත් අදහසක් නැත. ඔවුන් කඩපිල් ගානේ ඇවිදිති. කඩවල මුදලාලිත් නිහඩව ඉන්නේ ඔවුන්ගේ බිස්නස් එක ගැන සිතනාවාටත් වඩා අහක ඉන්න නයි රෙද්ද අස්සේ දමා ගැනීමට ඇති අකැමැත්ත නිසාය.  රක්ෂාවල් වලට යන අය ඒවාට යති. රක්ෂාව කරන තැන අනිත් අය ඔවුන් රෝග වාහකයන් බව නොදනිති. මොවුන් රෝග වාහකයින් නොව මිනි මරුවන්ය. ඇතැම් ආයතන ප්‍රධානින්ටද අවශ්‍ය වන්නේ කෙසේ හෝ සේවකයන් ගෙන්වා ගන්නටය.

මෙවැනි වැඩ කරන නංගිලා මල්ලිලාගෙන් දුවල පුතාලගෙන් ඉල්ලා සිටන්නේ ඔබට තරම් ආර්ථික ශක්තියක් නැති, ඔබට තරම් ශරීර ශක්තියක් නැති තමන්ගේ ලෙඩට දුකට බේත් ටිකක් ගන්න තැනැක් නැති අසරණ මිනිසුන් ගැනත් ඔබ අප වෙනුවෙන් ඉමහත් කැපවීමක් කරමින් දිවා රාත්‍රි සේවය කරන සෞක්‍ය කාර්යය මණ්ඩලය අනෙකුත් සියළුම අත්‍යවශ්‍ය සේවා වල යෙදෙන්නන් ගැනත් සිතා සමාජයට රටට හානිදායක ක්‍රියාවන්  අවම වශයෙන් හෝ නවතා දමන ලෙසයි.

මෙම සටහනට යොදාගත් භාෂා ශෛලිය ගැනනම් මටත් සතුටු නැත. මෙහෙම ලියවෙන්නේ හිතේ ඇති දුකටය. ඒ ගැන කමා වෙත්වා. නැවත හමුවෙමු. අප කොවිඩ් ආසාධිතයන් නොවී ජාතියේ මෙහෙවර ඉටුකරමු. දෙවිපිහිටයි කියා සමුගත්තාට වැඩක් නැත. යක්ෂයින් කරණම් ගහන තැන දෙවියන්ට ඉඩක් නැත....

No comments:

Post a Comment