අපේ විත්ති...

Friday, 11 December 2020

අපි වැදගත් වෙමු.

 


        මෙම කොරෝනා කාලයේ අත්‍යවශ්‍ය කාරණයකට හැර නිවසින් පිටව නොගිය මම අද දින ඉතාමත් අත්‍යවශ්‍ය කරුණකට පිටතට ගියෙමි. මා ජීවත්වන ප්‍රදේශය හුදකලා කර ඇති අතර ග්‍රාම නිලධාරි වසමේ මායිම් වල පොලිස් නිලධාරින් සහ හමුදා නිලධාරින්ද රදවා ඇත. මෙම නිලධාරින් ඉටුකරන්නේ ඉතාමත් දුෂ්කර කාර්යයක් බව නිරීක්ෂණය විය. මා යතුරු පැදියෙන් ගමන් ගත් අතර මා ගමන් කරන මාර්ගයේ යතුරුපැදි දෙකක් සමග රැදීසිටි ප්‍රද්ගලයින් දෙදෙනෙක් ඉදිරියේ තිබෙන මුර  කපොල්ලෙන් ඉදිරියට යාමට සූදානම්ව සිටින බව දක්නට ලැබුණි.ඔවුන් රැදී සිටි ස්ථානයට ආසන්නව මගේ යතුරු පැදිය සුළු දෝෂයක් නිසා නැවතුන අතර ඔවුන්ගේ සංවාදය මා සවනට යොමුවිය. අනුන්ගේ කථා අසා සිටීම නරක පුරුද්දක් වුවත් ඇහෙනවානම් මොනවා කරන්නද.

        ඔවුන් දෙදෙනාම කිසියම් නිශ්චිත කාර්යයක් සදහා ගමන් කරන බවක් මට නොපෙනුනත් ඔවුන්ගේ කාරණාව ඔවුන්ට වැදගත් විය හැක. ඔවුනට අනුව වැඩි වේගයකින් පොලිසිය සිටින තැන පසුකළොත් ප්‍රශ්ණයක් ඇති නොවනු  ඇත. එය එසේම සිදුවිය. අසරණ නිලධාරින්ට ඔවුන්ව පියමංකර යන මෙම අමනයන්ගේ පස්සා පැත්ත බලන් සිටිනවා හැර මෙම අවස්ථාවේදි  වෙන කරන්ඩ දෙයක් නැත. මෙවැනි පුද්ගලයින් කී දෙනෙකු දිනකට මෙම මුරපොලවල් පසුකර යනවා ඇද්ද?

        මෙම නිලධාරින් රැකියාවක් කර කිසියම් වැටුපක් ලබනවා විය හැක. එහෙත් ඔවුන්ට දහසින් බැදි පියලි ලැබෙන්නේ නැත. ඔවුන් රාජකාරි කරන තැන්වල පහසුකම් නැත. ඒ මහ පාරේය. මැසි මදුරුවන්ගේ ප්‍රහාරයන්ට ලක් වෙමින් කොරෝනා තර්ජන හමුවේ පමණක් නොව ඩෙංගු වැනි වසන්ගත හමුවේද ඔවුන් අසරණව ඇත. ඔවුන්ට ඔටුනු පළදවන කෙනෙක් නැත.පොඩ්ඩක් වැරදුණොත් බැණුම් කෝටියක් කියන්නට මිනිසුන් ඇත. ඔවුන් ආරක්ෂා කරන්නේ අපිවය.ඒ ඔවුන්ගේ දරුපවුල් ඇපයට තබලාය. එම් නිලධාරින් අපගේ දරුවන් අපගේ සහෝදයින් වැනි අයවලුන්ය. මේ අවස්ථාවේදී අප කළ යුත්තේ ඔවුන් සැහැල්ලුවට ලක්කර තිබෙන තර්ජන වලට අමතරව මානසික පීඩනයක්ද ගෙන දෙමින් කටයුතු කිරීමද? නැත. කිසිසේත්ම නැත. අප අපට හැකි සියළු සහයෝගය ඔවුන්ගේ රාජකාරිය ඉටුකිරීමේදී ලබා දිය යුතුය. ඔවුන් අපෙන් කන්ඩ අදින්ඩ ඉල්ලන්නේ නැත.එසේ ඉල්ලීමක් කළත් අප විසින් එය අපට හැකි පමණ ඉටුකර දීමද යුතු කමකි.

        මේ වසංගත සමයේ  මෙම හුදකලා කළ ප්‍රෙද්ශවල ඉන්නේ වැදගත් මිනිස්සු නම් පොලිස් හමුදා මුරකාවල් අවශ්‍ය නැත. පොලිසිය හමුදාව මගින් අපේ සංචරණයන් සීමා කිරීමට සිදුව ඇත්තේ අප හිතන  තරම් වැදගත් මිනිසුන් නොවන බැවිණි. අපි වැදගත් වෙමු. අපේ ආරක්ෂාව අපිම තහවුරු කර ගනිමු. එසේ කළහොත් අප නිදහසේ දිවි ගෙවන මිනිසුන් බවට යලි පත්වන දීනයද ඈතක නොවනු ඇත.

        මිනිසුන් වැදගත් විධියට හැසිරනේනේ නැත්නම්. ජංගම රථ වලින් ගොස් නිකරුනේ හැසිරෙන්නන්ට මුෂ්ඨි ප්‍රහාර හෝ එල්ලකර අපේ වැදගත්කම ආරක්ෂා කර දීමට කටයුතු කරන ලෙස  ජනතාව පොලිසියෙන් අයද සිටින දිනය ඈතක නොවනු ඇත. එදාට මහලොකු මානව හිතවාදින් විසින් සමාජ මාධ්‍යජාලා පිටු පුරවනු ඇත.

        සටහන නිමයි. යලි හමුවෙමු. එතෙක් නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා . කොවිඩ් ආසාධිතයෙක් නොවෙත්වා ආයුබෝවේවා........
 
 
 

No comments:

Post a Comment